සත්‍යය දකින්නට නම් – 13 | මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරිනි
“කථං භාවිතෝ ච ආනන්ද, ආනාපානසතිසමාධි
කථං බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානෙ පරිපූරෙත”
බුදුරජාණන් වහන්සේ ආනන්ද සූත්‍රය දේශනාවේ දී ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කළේ, කෙසේ වඩන ලද ආනාපානසති සමාධියෙන් සතර සතිපට්ඨානය දියුණුවේද යන්නයි.
මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යමෙකු ආනාපානසති භාවනාව දියුණු කරයි ද, එම තැනැත්තාට සතිපට්ඨානය වැඩෙන අතර, සත්තිස්බෝධිපාකෂික ධර්ම වැඩෙමින් “විජ්ජා විමුත්ති” ලබමින් උතුම් වූ මාර්ගඵල අධිගමනය සාකෂාත් කළ හැකි බව ය.
එබැවින් උතුම් නිර්වාණය ලබනු කැමති යමෙක්වේ ද, ඔහු විසින් මනාව මේ උතුම් සතිපට්ඨානය පුරුදු කළ යුතු ය. සතර සතිපට්ඨානය පුරුදු කිරීම සඳහා ඒ පිළිබඳව විශේෂ වූ අවබෝධයක් ද අප සතු විය යුතු ය.
ඒ අවබෝධය ලබා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පිළිබඳව අවබෝධයක් තිබීම ඉතාම පහසු වන්නේ ය.






